• Anushka Eranga

ගණන් අඩුවට ෆොටෝ ගමු

අලුත් අවුරුද්දට අපි හැමෝම අලුතින් ඇදුම් ගන්නවා, ගෙවල් වල තීන්ත ගාලා පාට කරනවා එක එක විදිහට අලුත් වෙනවා. එත් අපි හිතල බැලුවද අපි කොහොමද අලුත් වෙන්නේ කියලා ? නැහැ නේද ? පොඩ්ඩක් හිතලා බැලුවද මේ අවුරුද්දේ තමන්ගේ Backpack එකට අලුතින් එකතු කරගන්නේ මොනවද කියල ? එහෙම හිතුවා නම් ඒ බොහොම අතලොස්සයි.

එහෙනං අපි යමු මාතෘකාවට. දැනට තියෙන හොඳම කැමරාව Nikon ද Canon ද එහෙමත් නැත්නම් Sony ද කියන දේ මෙතනට අදාලම නැහැ. හැබැයි අපි පොඩ්ඩක් හිතල වැඩ කලොත් අපිට පුළුවන් අපේ තියෙන පුංචි අඩු පාඩු හදාගෙන අලුතින් එන හැම කමරාවම විතරක් නෙමෙයි අලුතින් එන ඕනෑම car එකක් උනත් ගන්න පුළුවන් .

ඒක කරන්නේ කොහොමද ?

මම පොඩි කතාවක් කියන්නම් – අපේ ගෙදර පොල් ගස් 2ක් තියෙනවා. මේකේ මාසෙකට දවසක් පොල් කඩන්න ඕන. ඉස්සර ඉදන්ම පොල් කඩන්නේ මේ මම කියන කෙනා. එය අපිව හොඳට දන්නවා අඳුරනවා, අපේ ගෙදරින් ඉදල හිටලා කෑම එහෙමත් කාලා යනවා. හැබැයි මෙයා පොල් ටික කඩලා ඉවර වෙලා එයාගේ ගන්න ගාණ අනිවා අරගෙන යනවා. ඒ වගේම තමා හැම අවුරුද්දෙම වගේ එයාගේ ගාණ රුපියල් 20කින් නැත්නම් 50කින් අනිවාර්යෙන්ම වැඩි කරනවා.

කලින් කිව්වනේ මේ මනුස්සයා අපිව හොඳට දන්නවා කියලා, හැබැයි මෙයා කවදාවත් අපිට නිකන් පොල් කඩලා දීලා නැහැ, එයාගේ ගණන් අඩු කරලාත් නැහැ. අන්න ඒක තම වෘත්තීය ගරුත්වය කියන්නේ.

දැන් අපි එමු අපේ වෘත්තියට, ඒ කියන්නේ ඡායාරූපකරණය, කඩ්ඩෙන් කිව්වොත් photography වලට. හැමදාමත් වගේ අපි වැඩියෙන්ම Facebook ආවම දකින්නේ රණ්ඩුවක්, තේරුමක් නැති කතා.ඕකට හේතු කිහිපයක් තියෙනවා.

1.මුල්ම එක තමා තමා නොදන්නා බව නොදැනීම –

මේක ගොඩක් වෙලාවට වෙන්නේ තමන් පොර කියලා හිතාගෙන ඉන්න අයට. බය නැතුව කියන්න ඕන සමහර සර් කියලා කියාගන්න අයත් එහෙමයි. එතකොට තමා ලෝකෙන්ම ඕක පළවෙනියට කලේ මම වෙන කාටවත් ඕක කරන්න බැහැ වගේ දේවල් අපිට අහන්න ලැබෙන්නේ.

ඇත්තටම බැලුවොත් ඉගෙනගැනීම කියන දේ ඉවර කරගන්න බැහැ. ලෝකය දවසින් දවස අලුත් වෙනවා. අද උපදින ළමයා තව අවුරුදු කිහිපයකින් අපිට වඩා හොඳට අපි ගත්තට වඩා අඩු කාලයක් අරගෙන අපිට වඩා හොඳට අලුත් නිර්මණ කරනවා. ඒක තමා ලෝක ස්වභාවය.

හැබැයි ලංකාවේ තත්ත්ව ලෝකෙත් එක්ක බලනකොට ටිකක් වෙනස්, අපි හැමවෙලාවෙම බලන්නේ කොහෙන් හරි දෙයක් හොයාගෙන එකේ කොනක් අල්ලගන්න, කවදාවත් හරියට දෙයක් ඉවරකරන්නේ නැහැ. එතකොට අපේ දැනුම පොඩ්ඩයි, අපි ඉගෙනගන්නවට වඩා කාලයක් අපි ගතකරන්නේ අනිත් යට උගන්වන්න සහ අනිත් අයව හදන්න. ඒ නිසා මුලින් ඉගෙන ගන්න ඕන ඇහුම්කන් දෙන්න, පස්සේ තේරුම් ගන්න. එතකොට ඉගෙන ගන්න පුළුවන් ප්‍රමාණය වැඩියි. අනිත් දේ තමා ඉගෙනගන්න ආස නම් වයස් සීමාව බලන්න එපා, ඔයාට වඩා බාලද වැඩිමල් ද කියන දේ ඉගෙනගන්න වුවමනා කෙනාට අදාළ නැහැ.

2. දන්නා බව නොදැනීම –

මේක මම අවතක්සේරුව කියලා කියන්නම්. ඇත්තටම දෙයක් දන්නා කෙනා කියවන ප්‍රමාණය අඩුයි හැබැයි ඔන්න ඔය හේතුවම තමා මම මුලින් කිව්වා දේට වැඩියම හේතුවක් වෙන්නේ. මෝඩයන්ට දගලන්න දීල සද්ද නොකර ඉන්නකොට වෙන්නේ මෝඩයන් ප්‍රමාණය වැඩිවෙන එකයි.

ඒ නිසා වැරද්දක් දැක්කම නුසුදුසු දෙයක් දැක්කම ඒක නිවැරදි කරන්න. කාලය පොඩ්ඩක් වැය වෙනවා තමයි හැබැයි එකෙන් අපේ අනාගතය ආරක්ෂා වෙයි. මේ දන්නා බව නොදැනීම නිසා ගොඩක් වෙලාවට වෙන්නේ තමන්ගේ තියෙන හැකියාවෙන් ප්‍රයෝජනයක් නොගැනීමයි. ඒ නිසා පුළුවන් තරම් උත්සහ කරන්න ඕන සීමා වලින් බිඳිලා පොඩ්ඩක් එළියෙන් හිතල බලන්න. කඩ්ඩෙන් ඕකට කියන්නේ ” Thinking out of the Box” කියලා.

තව ටිකක් දුර මේ කතාව අරගෙන ගියොත්, Photography කියන වෘත්තිය කියන්නේ සහතික පත් අවශ්‍ය දෙයක් නෙමෙයි. නමුත් ඕනෑම දෙයක් හදාරා තිබීම වැදගත් මොකද එකේ මූලික කරුණු සහ අන්තර්ගතය ගැන අධ්‍යනයක් කර තිබීමත් මම මේ කථාකරගෙන යන මාතෘකාවට අදාලයි. හැබැයි ඕක ඉගෙන ගන්න කියලා ලොකු ලොකු university වලටම යන්න වුවමනා නැහැ. තනියම උනත් ඉගෙනගන්න පුළුවන් සහ වෘත්තිමය අත්දැකීම් තියෙන කෙනෙකුගෙන් අහගෙන ඉගෙනගන්නත් පුළුවන්. ඒ මොනවත්ම නැත්නම් Internet කියන්නෙත් ගෙයක් ඇතුලේ තියෙන විශ්වවිද්‍යාලයක්.

අපි ගොඩක් දෙනෙක්ට කැමරාවක් හම්බවෙන්නේ තෑග්ගක් විදිහට, එහෙම තමයි මම අහල තියෙන්නේ. අහම්බෙන් කෙනෙක් තමයි තමන්ගේම සල්ලි වලින් කැමරාවක් අරගෙන photography කියන දේ වෘත්තියක් විදිහට කරගෙන යන්නේ. ඒ කොහොම උනත් අපිට මේ කැමරාව ලැබුන ක්‍රමය අපිට අදාළ නැහැ.

අද Event එකක් කරන්න Photographer කෙනෙක් කීයක් ගන්නවා ඇතිද ? මම නම් ඕන තරම් දැකලා තියෙනවා නිකන් ෆොටෝ ගහන අය. ගොඩක් වෙලාවට Birthday Parties වගේ දේවල්. නමුත් ඇයි ඒ ?

ඒ විතරක් නෙමෙයි සමහර ලොකු company උනත් මේ දවස් වල හොයන්නේ budget photographer කෙනෙක්. ඇයි ඒ ?

එතකොට wedding එකට couple එක හොයන්නෙත් ලාබෙට album එක කරගන්න කෙනෙක්. ඇයි ඒ ?

ඒ අපි අපේ talent එක වෙනුවට, අපේ price එක market කරන නිසා. වෙන අය price එක Market කලාට Photographers ලා දොස්තරලා වගේ අය Price tag එක Market කරාම වෙන්නේ විනාසයක්. දොස්තර කලොත් ලෙඩා මැරෙනවා, අපි ඕක කලාම ෆෝටෝ ටික විනාස වෙලා යනවා.

ඒ නිසා හැම වෙලාවම උතසහ කරන්න photo එකක් ගන්න කොට unique idea එකකට යන්න. තමන්ට පුළුවන් උපරිමය, උපරිම සාධාරණත්වය ඒ ගන්න ෆොටෝ එකට ලබා දෙන්න.

Birthday party එකේ නංගි කොටට සාය ඇන්දට, එයාට නිකන් photo ටික ගහන්න යන්න එපා. ඒ වගේම මේ ලෝකේ කොහෙවත් Budget Photographers ලා කියලා ජාතියක් නැහැ. තියෙන හොඳම Hotel එකේ 200 කට invite කරලා party එකක් ගන්න පුළුවන් නම් Photographer ටත් රුපියල් 25000ක් ගෙවන්න පුළුවන් . මොකද එන අය ඔක්කොම කලා බීලා නටලා ගිහාම අන්තිමට ඉතුරු වෙන්නේ ඔය photos ටික විතරයි.

ඒ නිසා හැම වෙලේම මතක තියාගන්න තමන් කරන දේ ගැන ආත්ම විශ්වාසයක් තියාගන්න. තමන් මොනයම් හෝ දෙයකට දක්ෂ නම්, එකම නම් තමාගේ වෘත්තිය ඒක අඩු මුදලට විකුනලා තමන්ගේ ගරුත්වය සහ වෘත්තියේ ගරුත්වය නැති කරගන්න එපා.

ඒ වගේම තමා මිලක් නියම කිරීමෙන් පසු ඔබ වගකීම් රාශියකින් බැඳෙනවා. වෙලාවට භාරගත් දේ අවසන් කර ලබාදීම සහ යම් කිසි කාලයක් තුල එය නැවත ලබාගැනීමට ඉල්ලීමක් කළහොත් එය අලවියෙන් පසු සේවාවක් ලෙස සලකා නැවත ලබාදීම සහ ඔබ සිදුකල කාර්ය හරි ආකාරව ඉටුවී ඇත්ද යන්න සොයාබැලීම මේ වගකීම් වලට අදාලයි.

තවත් දෙයක් තමා කොච්චර හොඳට නිකන් photo ගැහුවත් Adobe එකෙන් software නොමිලේ දෙන්නේ නැහැ, Internet Data නිකන් හම්බ වෙන්නේ නැහැ, uber එකේ driver නිකං එක්කගෙන යන්නේ නැහැ. ඉස්සරහ කඩේ මුදලාලි නිකං බඩු දෙන්නෙත් නැහැ. හොඳ කැමරාවක් ලාබෙට හම්බවෙන්නෙත් නැහැ, අපේ ගෙදර පොල් කඩන කෙනා පොල් ටික නිකන් කඩන්නේත් නැහැ.

තියෙන හොඳම කැමරාව ගන්න තමවත් හීන දකිනවා නම් පුරුදුවෙන්න තමන්ගේ වටිනාකම හඳුනා ගන්න, එතකොට හොඳ අදායමක් ලැබෙයි.

අනිත් එක තමා famous අය අපි කියමුකෝ නළු නිලියෝ කියලා. එයාලා කතා කලොත් නිකන් photos ගන්න මතක ඇතුව agreement එකක් sign කරගන්න ෆොටෝ එක Publish කරන හැම තැනකම ඔබගේ නම සහ ස්ම්බන්ධකරගත හැකි ආකාරය සඳහන් කරන බවට.

මේක කියෙව්වට පස්සේ හිතෙනවා නම් ලංකවේ එවුන් එක්ක ඕව බැහැ කියලා. එහෙම දෙයක් නැහැ තමන් හැදෙන්න එතකොට අනිත් අය හැදෙයි. අපිට පුළුවන් මේ වෙනස කරන්න. නිකන්ම නිකන් photographer කෙනෙක් වෙන්න එපා, තැනකට ගිහාම තමන්ව 2.50ට දාලා කථා කරන තැනට වැටෙන්න මග හදාගන්න එපා.

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !!

Updated : 2020

තත්වය සෝචනීයයි මිතරවරුනි. Wedding Photographerට දැන් Table එකක් දෙන්නෙත් නැහැ. ඒ නිසා දැන්වත් හැදෙමු

#photographylife #buythebestcamera #eventphotography #camerabuy #buythemostexpensivecamera

1 view0 comments

Recent Posts

See All